මධුශානී වික්‍රමසිංහ

By  |  0 Comments

රිදී තිරයට පෑයු ලස්සන තාරකාවක් – මධුශානී වික්‍රමසිංහ

ඉතින් කොහොමද ජිවිතේ?

හොඳයි ගොඩක් හොඳින් ඉන්නවා. 2024 අලුත් වැඩ ගොඩක් එක්ක ඔන්න පටන් අරන් තියෙනවා. මං හිතනවා 2023ත් මට හරි ලකී අවුරුද්දක් වුණා. 2024ත් ඒ වගේම වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

මධුෂානි කොහොමද මේ කලා ක්ෂේත්‍රයට එන්නේ?

මම එන්නේ 2018 වර්ෂයේදී. 2017දී පූර්ණ කාලීන ජාතික තරැණ සේවා සභාවේ රංගන පාඨමාලාව හදාරලා රංගන පාසලෙන් තමයි මම රංගනයට එන්නේ.

වැඩියෙන්ම ආස කරන්නේ රිදී තිරයටද?

ඇත්තටම මං ආස රිදී තිරයට. මං පුංචි කාලේ මට හීනයක් තිබුණා සිනමා නිළියක් වෙන්න ඕන කියලා. රිදී තිරයට තමයි මම ගොඩක් ආදරය කලේ. ඒකට හේතුව මගේ අම්මා. එයා හොඳ ෆිල්ම් ෆෑන් කෙනෙක්. එයා පොඩි කාලේ මං හම්බෙන්න ඉන්න කාලේත් චිත්‍රපටි නරඹනවා. චිත්‍රපටි ගීත අහනවා. මං පොඩි කාලෙත් මට නිතරම චිත්‍රපටි සිංදු ඇහෙනවා. ඒ වගේ පරිසරයක තමයි මම හිටියේ. එතකොට මම පොඩි කාලේ ඉඳන් සිනමාවට මාර විදිහට ආදරය කරනවා. එතකොට මට ගොඩක් රංගන අවස්ථා එහෙම ලැබෙන්නෙත් සිනමාවෙන්. එතකොට සිනමා ක්ෂේත්‍රයේ තමා වැඩි කාලයක් මං ගත කරන්නේ මගේ රංගන දිවියේ. එහෙම තමයි.

ඔයා වඩාත්ම ප්‍රිය කරන ඔයා රඟපාපු චරිතය මොකක්ද?

වැඩිපුරම මම කැමති “ආදරේයි ජානූ” කියලා මං චිත්‍රපටියක් කරලා තියෙනවා. ඒක Upcoming Movie එකක්. දැනට Release වෙලා නෑ. මේ අවුරුද්දක් Release වෙයි බොහෝ දුරට. ඒකේ “ජානූ” සහ “නාමලී ” කියලා චරිත දෙකක් නිරෑපණය කරන්න තිබුණා. ඒ කියන්නේ ඩබල් ඇක්ටින්. Actor කෙනෙක්ට හරි Actress කෙනෙක්ට හරි ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. මං ඒ චරිත දෙකම කලේ හරිම ආසාවෙන්. වෙනස් විදිහට. ඉතින් මම “ආදරේයි ජානූ” කියන චිත්‍රපටියේ ඒ චරිත දෙකට තමයි වැඩිපුරම කැමති.

මං කවදාකහරි මේ වගේ චරිතයක් කරනවා කියලා ඔයාගේ හිතේ තියෙනවද?

මම කවදාකහරි කරන්න ආසයි කියලා හිතෙන චරිත කිහිපයක් තියෙනවා. හැබෙයි මට දැනට ලැබෙන්නේ ඒ වගේම ගොඩාක් නිර්මාණ වලට කතා කරන්නේ පෙම්වතියගේ චරිතයට. මොකද මගේ පෙනුමයි වයසයි එක්ක. නමුත් ඉදිරියේදී මං බලාපොරොත්තු වෙනවා වගේම ආසාවෙන් ඉන්නවා මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ චරිතයක් කරන්න. ම හිතනවා කවදාකහරි ඒ වගේ චරිතයකට මට කතාකරයි කියලා. නමුත් දැනට මට හම්බවෙන්නේ පෙම්වතියගේ චරිත. ඒවත් එකිනෙකට වෙනස් ආකාරයෙන් මං Try කරනවා. හිතේ තියෙන හීනේ චරිත මොන වගේ වුණත් ඒකට උපරිම සාධාරණයක් ඉටුකරන එක. මොකද පිටපත් එකින් එකට වෙනස්. චරිත එකින් එකට වෙනස්. ඒ වෙනස් භාවය තියාගෙන ප්‍රේක්ෂකයාට ඒකාකාරි නොවන විදිහට මගේ චරිතය නිරෑපණය කරන එක තමා මං ආසම දේ.

ආදරය සහ ජිවිතය ගැන ඔයාගේ දැක්ම මොනවගේද?

ආදරය සහ ජීවිතය ගැන කතා කළොත් ජීවිතය කියන්නේ හරිම කර්කශ කටුක හරි අමාරු දෙයක් නෙවෙයි. ඇත්තටම ජීවිතේ කියන්නේ හරි සරල දෙයක්. මිනිස්සුන්ට තියෙන දේවල් සහ මිනිස්සු ගොඩනඟා ගන්න දේවල් එක්ක තමයි ඒක සංකීර්ණ වෙන්නේ. මිනිසුන්ගේ සම්බන්ධතා අනුව තමයි ඒවා සංකීර්ණ වෙන්නේ. හැබැයි ජීවිතය කියන්නේ හරිම සරල දෙයක් වගේ තමයි මට දැනෙන්නේ. ඇත්තටම මගේ ජීවිතේ නම් මං හරි සැහැල්ලුවෙන් ගත කරන්නේ. මං හරිම සරල කෙනෙක්. ආදරේ කියලා ගත්තට පස්සේ මං ආදරේ විඳින්නේ මගේ දෙමාපියන්ගෙන්. ඒ කියන්නේ මගේ අම්මා තාත්තගෙන්. සුරතල් සත්තු එක්ක තමයි ආදරේ විඳින්නේ පෙම්වතෙක් හෝ වෙන පාර්ශ්වයකින් යාළුවන්ගෙන් මං හිතන්නේ නෑ එහෙම අවංක පිවිතුරු ආදරයක් ලැබෙනවා ඇති කියලා. කොයි වෙලාවකවත් එහෙම විශ්වාස කරන්න පුළුවන් මට්ටමක දේවල් මගේ ජීවිතේ අත්දැකීම් නැහැ. එහෙම ඒක නිසා මම විශ්වාස කරන්නේ දෙමව්පියන්ගේ ආදරය සහ සුරතල් සතුන්ගේ ආදරය විතරයි පිවිතුරු ආදරේ විදියට දකින්නේ. ජීවිතය ගැන මට කියන්න පුළුවන් දේ තමයි හරිම සරලයි මිනිස්සු විසින් තමයි ඒක සංකීර්ණ කරගෙන තියෙන්නේ.

BY: මෙලනි ෆ්‍රිසන්කෝටන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *